www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

මෙම බයිබල් පාඩම් ඔබ දන්නා අයට හඳුන්වාදෙන මෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ද දේව වචනය තුළින් ශක්තිමත් වන පිණිසයි..

කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්

උන්වහන්සේ අප යන මාර්ග හොඳින් දන්නා සේක.

"යමෙක් පරික්ෂා කරණු ලබන කල; මම දෙවියන්වහන්සේ ගෙන් පරික්ෂා කරණු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන් වහන්සේ කිසිවෙකු නපුරෙන් පරික්ෂා නොකරණසේක." -යාකොබ් 1:13

මෙලොව ජිවත්වන අපගේ මනුෂ්‍යය ජීවිතයට නොකඩවා දුක් පිඩා පැමිණියත් ඒ ගැන අලුත් ගිවිසුමේ යාකොබ් තුමා පවසා සිටින්නේ, කිසි නපුරක් දෙවියන්වහන්සේ වෙතින් නොපැමිණෙන බවයි. ඒ ගැන පරණ ගිවිසුම කාලයේ ජීවත්වූ යෝබ්ගේ කතාව කියවන විටදී පැහැදිලි වන අනෙක් කාරණය වන්නේ, දුක් පිඩා වලට මුහුණ නොදෙන පිණිස උන්වහන්සේ ඒවා අපෙන් නොවලක්වන කාරණයයි. එයින් පැහැදිලි වන්නේ අපි ඇදහිලිවන්තයන් වුවත් මොලොව ජිවිතයේ දී අභියෝගවලට මුහුණ පෑමට උන්වහන්සේ ඉඩහරින කාරණයයි.

දුක් කරදර කම්කටොලු වලට මුහුණදීමට උන්වහන්සේ ඇයි අපව ඉඩහරින්නේ? ඇයි දෙවියන්වහන්සේ අපව ඒවායින් ආරක්ෂාකර නොගන්නේ? යනුවෙන් බොහෝදෙනෙක් මතුකර මේ ප්‍රශ්ණයට ඇති පිළිතුර වටහා ගැනීමට නම් ඒ වෙනුවෙන් දෙවියන්වහන්සේම පැහැදිලි කරදී ඇති උන්වහන්සේගේ සැලැස්මත් තේරුම් ගත යුතු වන්නේ, ඒ ප්‍රශ්නයට පිළිතුරු මිනිසාගේ පැත්තෙන් සොයාගැනීම අපහසු වීමයි.

පළමුවැනි කාරණය;

මේ ප්‍රශ්නයට බලපාන ප්‍රධාන හේතුව දේව වචනය විස්තර කරයි. ඒ හේතුව හැටියට දෙවියන්වහන්සේ පෙන්වාදෙන්නේ පළමු මිනිසාගේ අකීකරුකම තුළින් මතුවූ පාපයේ ශාපය මිනිසුන් වන අපට පමණක් නොව නුමුත් අප ජිවත්වන මේ ලෝකයටද කෙලින්ම බලපෑව බවයි.

උපතින්ම අප තුළ ක්‍රියාවට නැගෙන මේ බලවේගය "නොපනත්කම" ලෙසින්ද හඳුන්වා දෙමින් තෙසලෝනික පොතේ ඒ ගැන පාවුල් තුමා විස්තර කරන්නේ, අප තුල පමණක් නොව නුමුත් අප ජිවත්වන මේ ලෝකය තුළත් ක්‍රියාවට නැගෙන මේ අඳුරු බලපෑමට හේතුව අප සියලුදෙනා හොඳින් හඳුණන පාපිෂ්ඨ ස්වභාවය ලෙසයි. .

පළමු මිනිස් යුවල දෙවියන්වහන්සේගේ වචනයට නොව නුමුත් සාතාන්ගේ බොරුවට කීකරුවීම තුලින් කල ඒ අකිකරුකමේ ක්‍රියාව හේතුවෙන් ඔවුන් ද පාපයේ කොටස් කාරයන් වුවා පමණක් නොව නුමුත් ඔවුන් ජිවත්වන මේ ලෝකයද ඒ පාපයේ ග්‍රහණය අසුවූ බවත් පෙන්වාදෙන්නේ දෙවියන්වහන්සේගේ වචනයයි. දුක වේදනාව මෙන්ම නොපනත්කමේ ආරම්භයට හේතුවන්නේ සාතාන්ගේ ඒ රැවටිලිකාර ක්‍රියාව වන අතර, මිනිසා පාපයට වැටීමට පෙර දුක වේදනාව මිනිසා සතු නොවූ බවත් දේව වචනය ඒ ගැන පැහැදිලි කරයි.

ඒ අනුව අප මුහුණ දෙන මේ කටුක ජිවිතයට මුල්වන ප්‍රධාන හේතුව වන්නේ "පාපයේ " බලපෑමත් එසේම ඒ බලපෑමට පිටුපසින් ක්‍රියා කරණ සාතාන්ගේ බලවේගයත් බව දේව වචනය එළිදර කරයි.

අදාම් සහ ඒවා යන ඒ පළමු මිනිස් යුවල විසින් දෙවියන්වහන්සේගේ හඬට නොව නුමුත් සාතාන්ගේ හඬට කීකරුවීම මේ සියල්ලේ ආරම්භයට මුල්වූ පළමුවැනි හේතුව බව දේව වචනය පෙන්වාදෙයි

දෙවැනි කාරණය;

ඒ ගැන දේව වචනය පෙන්වාදී ඇති දෙවැනි කාරණය වන්නේ, මිනිසුන් හැටියට මෙලොව අප මුහුණ දෙමින් සිටින මේ දුක වේදනාව තාවකාලික එකක්ද වන බවයි. එයින් අදහස් කෙරෙන්නේ, මොලොව ක්‍රියාවට නැගෙන සාතාන් ගේ ඒ බලපෑම දිනෙක සම්පුර්ණයෙන්ම පහවන්නට යන කාරණයයි.

අවසාන විනිශ්චයේදී දෙවියන්වහන්සේ සාතාන්ගේ බලය සම්පුර්ණයෙන්ම බිඳ දැමීමට යන බවත්, ඒ තැන් පටන් සාතාන්ගේ බලය මෙන්ම සාතාන්ව අනුගමණය කල සියල්ලෝද සදාකාල ගිනිවිලට හෙලණු ලබන බැවින්, දුක වේදනාව මොළොව ඇතිවීමට මුල්වූ සාතාන් සහ ඔහුගේ බලයත් ඒ සමග සහමුළින්ම නතරවන බවත් දේව වචනය එළිදරව් කරයි. (මතෙව් 25:41) ඉන්පසු ධර්මිෂ්ඨකම පෙරදැරිකරගත් උන්වහන්සේගේ පාලනය ආරම්භවන බවත් දේව වචනය කියා සිටියි. (එළිදරව් 20- 21 )

තුන්වැනි කාරණය;

ඒ ගැන සඳහන්වී ඇති තුන්වැනි කාරණය වන්නේ, ඒ අතර තුරදී අපට දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ වීමට අවශ්‍යය වන "පව් කමාව" යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ජිවිත පුජාව පිළිගැනීම තුලින් ලබාගත හැකි නිසා, ඇදහිලිවන්තයන් වන අපට දැන් "යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්" දෙවියන්වහන්සේ වෙතට ආත්මයෙන් සම්බන්ධවී, උන්වහන්සේගේ උපකාරයෙන් සියළු දුක් වේදනා වලට "මුහුණදීමට අවශ්‍යය ශක්තිය සහ මඟපෙන්වීම දෙවියන්වහන්සේ ගෙන් ලබාගත හැකියි" යන කාරණයයි.

එයින් අදහස් වන්නේ, යේසුස් වහන්සේ පිළිගන්නා විටදී දුක් වේදනා ඉබේම දුරුවෙනවා කියා කියන අදහස නොව, නුමුත් දිනපතා ඒවාට මුහුණදෙමින් ජීවත්වීමට අවශ්‍යය ශක්තිය සහ මඟ පෙන්වීම දෙවියන්වහන්සේම විසින් අපට දිනපතා සපායාදෙන බවට දී ඇති පොරොන්දුවයි.

මේ යථාර්තය හොඳින් තේරුම් ගෙන ජීවත්වූ මිනිසෙකු ලෙසින් පෙනෙන පරණ ගිවිසුම කාලයේ ජීවත්වූ "යෝබ්" යන ඒ මිනිසා ඒ ගැන පවසා සිටින්නේ; එබැවින් "දෙවියන්වහන්සේ මා යන මාර්ග දන්නා සේක" යන කාරණයයි.

"උන්වහන්සේ මා යන මාර්ගය දන්නා සේක." -යෝබ් 23:10

යෝබ් මෙන් බොහෝ පිඩා සහ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් අලුත් ගිවිසුම කාලයේ ජීවත්වූ පාවුල් තුමාද, මේ විෂයට අදාළව සිදුවන තවත් පැත්තක් ගැන අලුත් ගිවිසුමේ පෙන්වාදෙනු පෙනෙයි. ඒ ගැන ඔහු පවසා සිටින්නේ, සමහරවිට ඇදහිලිවන්තයාට එල්ලවන එවැනි පිඩා පිටුපසින් තවත් හේතුවක්ද තිබෙන කාරණයයි.

අප නොදැන සිටියත්; අප මුහුණ දෙන එවැනි අඳුරු අවස්තාවන් බොහෝවිට අපව දෙවියන්වහන්සේ යන ඒ සත්‍යතාවය තේරුම් ගැනීමටත් මඟ පෙන්වන බැවින් ඒ "අවස්ථාව" ඔහු පෙන්වාදෙන්නේ; ඒවා ඇදහිලිවන්තයන් වන අපට දෙවියන්වහන්සේගේ ක්‍රියා පුද්ගලිකව අත්දැකීමටත් මඟ පෙන්වන අවස්ථා හැටියටයි.

හේතුව දුක් පීඩා වලට ඇදහිල්ලෙන් මුහුණ දෙන විටදී, ඒවා තුල අප සමග ක්‍රියා කරන දෙවියන්වහන්සේගේ බලය ගැන මින්පෙර අත්නොදුටු ආකාරයේ අත්දැකීමක්ද අපට පුද්ගලිකව ලබාගැනීමටත් මඟ සැළසෙන නිසා, ඒ පැත්තෙන් ඒ දෙස බලන්නේ නම්, දුක්පීඩා වේදනාකාරී වුවත් ඒවා නිසා දෙවියන්වහන්සේගේ අතිමහත් ප්‍රේමය, කරුණාව සහ අස්වැසිල්ල පමණක් නොව නුමුත් බලයත් අත්දැකීමට ඉවහල්වන මාර්ග හැටියටද ඒවාම ක්‍රියාකරණ බව ඔහු පෙන්වාදෙයි.

එබැවින් මේ සියල්ල අවසානයේදී දෙවියන්වහන්සේ ගැන අපි පුද්ගලිකව අත්දැකීමට පැමිණෙන ඒ සත්‍යය, සියල්ලටම වඩා උතුම් බව ඔහු පවසා සිටින්නේ, ඒවා නිසා "සියල්ල තුළදී ජිවිතයට දෙවියන්වහන්සේ පමණක් සෑහෙයි" යන ඒ ස්ථිරත්වය අවබෝධ කරගැනීමටද හැකිවන නිසායි.

ඒ අනුව ඒ දෙස බලන්නේ නම්, ජිවිතයට හමා ආ එවැනි අඳුරු අත්දැකීම් තුලදී අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේ ගේ ප්‍රේමය කරුණාව පමණක් නොව නුමුත් අප කෙරෙහි ඇති උන්වහන්සේගේ සැලැස්මත් තේරුම් ගැනීමට හැකිවන නිසා, අවසානයේදී දෙවියන්වහන්සේට ප්‍රසංසා කිරීමටත් උන්වහන්සේව වැඳ නමස්කාරය කිරීමටත් මුහුණදීමට සිදුවූ ඒ අභියෝගයන්ම ඉඩසලසන බවයි.

"එබැවින් දෙවියන්වහන්සේ අදහා ගන්නවුන් කෙරෙහි, "සියල්ල" යහපත පිණිස එකට ක්‍රියා කරන්නේය." -පාවුල් රෝම පොත

බොහෝවිට දෙවියන්වහන්සේ විසින් කරණ ලද බලවත් හාස්කම් ගැන සාක්ෂි ඇදහිලි වන්තයන් විසින් පවසා සිටින විටදී ඒ ගැන අපි බොහෝසෙයින් සතුටු වුවත්; එතුල අපි නොදන්නා අනෙක් කාරණාව වන්නේ, ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ අභියෝග සැහැල්ලු ඒවා නොවීමයි. යෝබ්ගේ ජීවිතය දෙස බැලීමේදී ඒ අවසානය සතුටුදායක එකක් ලෙසින් නිමවුවත්, පාවුල් වැනි මිනිසුන්ගේ ජිවිත ගැන සලකා බැලීමේදී පෙනෙන්නේ එකේ අනෙක් පැත්තයි.

ඒ නුමුත් මරණය පවා ඇදහිලිවන්තයාට ආශිර්වදයක්වී යහපත පිණිස එකට ක්‍රියා කරන බවත් පවසමින් පාවුල් තුමා දුක් පීඩා ගැන පවසා සිටින්නේ, අප ජිවත්වන මේ ජීවිතයටත් වඩා මරණින් මතුවට අප ගත කිරීමට යන ඒ ජීවිතය දුක් කරදර වලින් තොර වූ ආශිර්වාදයෙන් පිරුනාවු එකක් වන නිසා "දෙවියන්වහන්සේ අදහාගන්න වුන් කෙරෙහි "සියල්ල" (දුක් පීඩා පවා) යහපත පිණිස එකට ක්‍රියා කරන ඒ යථාර්තය ගැනයි.

මෙහිදී ඇදහිලිවන්තයන් හැටියට අප සියලු දෙනාම තේරුම් කරගත යුතු ආත්මික පාඩම වන්නේ, අප වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ සැළැස්ම සහ කැමැත්ත බොහෝවිට අප ඉදිරියේ අපැහැදිලි එකක් මෙන් දිස්වුවත්, දෙවියන්වහන්සේ අප සමග සිටින කාරණයයි. පාවුල් තුමා පැවසු ලෙසින්; එබැවින් අප මුහුණදෙන අභියෝග තුළ කිසි ආකර්ශනිය කමක් හෝ පැහැදිලි අරමුණක් දැකීමට හැකි නොවුණත්, ඒ සියල්ල තුලදී පවා අප වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ ඒ සැලැස්ම, කිසි ලෙසකින් වත් වෙනස් නොවී යහපත පිණිස පමණක් ක්‍රියාවට නැගෙන පොරොන්දුවයි.

පිඩා දුක් කරදර නොසිතු ලෙසින් ජිවිතයට එල්ල වන විටදී ඇදහිලිවන්තයන් හැටියට අපි බොහෝවිට දෙවියන්වහන්සේට අපව පේන්නේ නැද්ද? කියා හෝ දෙවියන් වහන්සේ ඇයි මා ගැන සැලකිලිමත් නොවන්නේ? කියමින් ලතවුවත්, මුහුණ දෙන ඒ වාතාවරණය අවසානයේදී පමණක් අපට දෙවියන්වහන්සේ ඒ තුල ක්‍රියා කල ආකාරය තේරුම් ගැනීමට ඉඩසලසයි.

මරණ සෙවනේ මිටියාවත් තුළින් දාවිත් රජතුමාට ගමන් කිරීමට සිදුවූ නිසා පමණක් අවසානයේදී ඔහු මරණ සෙවනේ මිටියාවත් මැදින් යනවිටදී උන්වහන්සේ අප සමගයි යනුවෙන් ගීතිකා ගායනා කරයි. ඒ නුමුත් ඒ අත්දැකීම අවසානයේදී දැනගන්නා පිණිස ඔහුට මරණ සෙවනේ මිටියාවත් මැදින් යාමටත් සිදුවෙයි.

දෙවියන්වහන්සේ ඔහුව ඒ තුලදී ආරක්ෂා කරගත් බව ඔහු තේරුම් ගන්නේ ඒ ගමනේ අවසානයේදී බවත් මෙහිදී අප වටහාගත යුතු වන්නේ, අප මුහුණ දෙන නොයෙකුත් ආකාරයේ අභියෝග තුලදී පවා දෙවියන්වහන්සේ අල්ලාගෙන අවසානය දක්වාම ඇදහිල්ලෙන් ගමන් කරනු පිණිසයි.

ඇදහිලිවන්තයන් හැටියට ජිවිතයට අභියෝග නොමැති විටදී ඇදහිල්ල පවත්වාගෙන යාම ඉතාමත්ම පහසු කාරියක් වුවත්, බොහෝවිට ජිවිතයට දුක් පීඩා, කරදර, අභියෝග, භාධා වැනි දේවල් නොසිතු ලෙසින් හමා එනවිටදී ඇදහිල්ලෙන් දෙවියන් කෙරෙහි රැඳී සිටීම එතරම් පහසු නොවන්නේ, ඒවා අපගේ බලාපොරොත්තු සෙලවීමට සලස්වන නිසායි.

නුමුත් මෙහිදී අප ඒ අභියෝග දෙස නොව නුමුත් ඒ අභියෝග වලට ඉහළින් සිටින දෙවියන්වහන්සේගේ බලය සැළැස්ම සහ කරුණාව කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, ඒවා තුළදී ක්‍රියාකළ හැකි දෙවියන්වහන්සේව තේරුම් ගැනීමට ඉඩසලසා ගනියි.

එවැනි වේදනා හැලහැප්පීම් ඉදිරියේදී ඇදහිලිවන්නතයන් හැටියට අප ඒවාට මුහුණ දිය යුත්තේ කෙසේද යැයි පෙන්වාදෙන ඒ ආදර්ශමත් උදාහරණයක් පරණ ගිවිසුමේ සඳහන් යෝබ්ගේ ජිවිත කතාවද පෙන්වාදෙයි.

බයිබලය යෝබ් යන මේ මිනිසාට දී තිබෙන චරිත සහතිකය අසාමාන්‍යය එකක් බවත් පෙනෙන්නේ ඔහු ; නිර්දෝෂී, දෙවියන්වහන්සේට භය භක්තියෙන් පිරී, විශ්වාසවන්ත ඇදහිලිවන්තයෙක් හැටියට පමණක් නොව නුමුත් ඔහු දෙවියන් ඉදිරයේ "ධර්මිෂ්ඨ" මිනිසෙකු ලෙසින්ද සඳහන් කර තිබීමයි.

ඒ අනුව යෝබ් ආදර්ශමත් ඇදහිලිවන්තයෙක් වුවා පමණක් නොව නුමුත් ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ "ධර්මිෂ්ඨ" අයෙකු ලෙසින් පිළිගත් බවත් බයිබලයම ඔහු ගැන සාක්ෂි සපයයි. ඒ නුමුත් ඒ ධර්මිෂ්ඨ මිනිසාටත් අභියෝග පැමිණි බවත් එසේම ඒවාට ඔහුටත් මුහුණදීමටත් සිදුවූ බවත් එහි සඳහන් වෙයි.

යෝබ් කළ වරදක් නිසා නොව නුමුත් සාතන් සහ දෙවියන් වහන්සේ අතර ඇතිවූ සාකච්චාවක ප්‍රතිඵලයක් හැටියට; යෝබ්ට ඔහුගේ සියලු වස්තුව, ඔහුගේ සියලු සේවකයින්, සියලු සිවුපා සතුන් පමණක් නොව නුමුත් ඔහුගේ ආදරණිය දරුවන් දසදෙනාත් මොහොතකින් ඔහුට අහිමිවී ගිය බව බයිබලය පෙන්වා දුන්නත්, එවැනි දෙයක් ඔහුට සිදුවෙන්නට යනවා කියා ඒ ගැන හෝ; දෙවියන්වහන්සේ විසින් ඔහුව පරික්ෂා කිරීමට සාතාන්ට අවසර දුන්නා කියා ඒ ගැන හෝ යෝබ්ට දැන්වූ වගක් ගැන බයිබලයේ සටහන් නොවෙයි. ඒ අනුව යෝබ් පවා අප මෙන් ඒවාට මුහුණදුන් බවත් පෙනෙයි.

මෙසේ තමා නොසිතු විටෙක නොපැතූ ලෙසින් පැමිණි මේ දුක් කන්දරාව ඉදිරියේ යෝබ්ට කළ හැකි වුයේ වේදනාවෙන් තම ඇදුම් ඉරාගනිමින් බිම වැතිරී දෙවියන්වහන්සේගේ පිහිට සොයමින් උන්වහන්සේ සොයා යෑම පමණි. යෝබ් තම දුකේදී වේදනාවෙන් බිම වැතිරී දෙවියන් වහන්සේ සෙවූ බව පමණක් නොව ඒවා තුළදී පවා ඔහු උන්වහන්සේව පමණක් නමස්කාර කළ බවත් බයිබලය සාක්ෂි දරයි.

යෝබ් තම වේදනාවේදී දෙවියන්වහන්සේ සොයමින් කියා සිටියේ, "උන්වහන්සේ මා යන මාර්ගය දන්නා සේක." යන කාරණය පමණක් බවත් එහි සටහන් වෙයි. තම වේදනාවේදී තමන් ඇදහු දෙවියන්ගේ පිහිට පතමින් ඔහු උන්වහන්සේ කෙරෙහි රැඳී සිටිය බවත් එයින් පැවසෙයි.

නුමුත් මේ කථාව තුළ අප දකින අනෙක් වේදනාකාරී කාරණය වන්නේ, යෝබ් මුහුණ දුන්නාවූ මේ දරුණු පීඩාවේදී ඔහුව අස්වැසීමට දෙවියන්වහන්සේ නොපැමිණීම දැකීමයි. ඒ වෙණුවට අප දකින්නේ දෙවියන්වහසේ සාතාන්ට ඔහුව පරික්ෂා කිරීමට ඉඩහැරිය කාරණය පමණයි.

"මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත. මා පස්සට ගියත් උන්වහන්සේ දකින්නට නොහැකි වෙමි. වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියා කරණ කළ, උන්වහන්සේ දකිණු නොහැක්කෙමි. දකුණු පැත්තේ මට නොපෙණෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක". -යෝබ් 23:8-9

යෝබ් තම වේදනාවේදී දෙවියන්වහන්සේ සෙවූ නුමුත් උන්වහන්සේ සොයාගැනීමට ඔහුට නොහැකි වූ බව යෝබ් සඳහන් කරයි. වේදනාවෙන් ජයගැනීමට උපකාරයක් හෝ පිහිටක් බලාපොරොත්තු වූ විට, ඒ වෙනුවෙන් කිසි පිළිතුරක් ඔහුට නොලැබුන බවත් ඔහුගේම කන්නලව්ව පෙන්වාදෙයි. ඒ නුමුත් යෝබ් නොදැන සිටිය කාරණය වන්නේ දෙවියන්වහන්සේට ඔහුව හොඳින් පෙනුණ කාරණයයි.

අභියෝග ඉදිරියේදී බොහෝවිට අපිටත් දෙවියන්වහන්සේට ඇයි මාව නොපෙනෙන්නේ? යනුවෙන් හැඟුණත්, දෙවියන්වහන්සේ සියල්ල දන්නා බවත් සියල්ල කෙරෙහි සැළැස්මක් උන්වහන්සේට තිබෙන බවත් එය කියා සිටියි.

ජිවිතයේ ඉතාමත් පහත් අවදියක සිටිමින් යෝබ් දෙවියන්වහන්සේගේ පිහිට බලාපොරොත්තුවූ ඒ අවධියේදී, ඒ පීඩාව ඔහුට ගෙනදුන් අසහණය සහ හිස්කම ගැනත් එහි සටහන් වෙයි. යෝබ් මුහුණ දුන්නාවූ පරික්ෂාවේ ගැඹුර එයින් පැහැදිලි වෙයි. අමාරුකමේදී වේදනාවෙන් උන්වහන්සේගේ මුහුණ සොයනවිටදී ඔහු අත්දුටුව "හිස්කම" ඔහුගේ වචන පැහැදිලි කරයි.

බොහෝවිට යෝබ්ට මුහුණ දෙන්නට සිදුවූ මේ අඳුරු අත්දැකීම වාගේ අත්දැකීමක් අපට නැතිවුවත්, ඔහුට මෙන් නොසිතු ලෙසින් ජිවිතයේ බලාපොරොත්තු කඩවී ගිය අවස්තාවන් අපටත් තිබෙයි. දෙවියන් කෙරෙහි ඇදහිල්ලෙන් රැඳී සිටීමේ අපහසුතාවය එවැනි අවස්ථාවන්වලදී අපටත් හැඟුනත්, ඇදහිලිවන්තයන් හැටියට අප කල යුත්තේ කුමක්ද යන ඒ කාරණය යෝබ් අපට එහි පෙන්වාදෙයි.

දෙවියන්වහන්සේ කෙරෙහි ඇති බලාපොරොත්තුව කිසිවිටෙකත් "අත්නොහරින්න" යන ඒ කාරණාව පමණක් යෝබ් ඔහුගේ ජිවිතයෙන් අපට පවසා සිටියි.

මෙවැනි අවස්ථාවන් තුළදී අවවාද අනුශාසනා දීම පහසු වුණත් ඒවාට මුහුණදීම එතරම් පහසු නොවෙනා බව පෙනෙන්නේ, යෝබ්ගේ භාර්යාව ගේ ප්‍රතිචාරය ගැනත් එහි සටහන් වී තිබීමයි. සාමාන්‍ය ඇදහිලිවන්තියක වූ ඇය ඒ පිඩාව ඉදිරයේදී තීරණය කරන්නේ, "වේදනාවේදී පිහිටක් උපකාරයක් නොමැති දෙවියන් ඇදහීමේ ඇති ඵලය කුමක්ද?" යන තීරණයයි.

නොසිතු ලෙසින් දුක් පීඩා ජිවිතයට පැමිණෙන විටදීත් එසේම ඒවාට පිළිසරණක් සොයා ගැනීමට නොහැකි වන විටදීත් මෙහිදී යෝබ්ගේ භාර්යාව මෙන් අපත් සමහරවිට ක්‍රියා කිරීමට පෙළඹෙන්නේ ඇදහිල්ල හෝ විශ්වාසය එවැනි අවස්තාවන් වලදී ගොඩනගා ගැනීමට ඇති අමාරුකමයි. ප්‍රශ්ණ කරදර අමාරුකම් බොහෝවිට අප තුළ ඇතිකරන්නේ අවිශ්වාසයයි. අවිශ්වාසය දෙවියන්වහන්සේ වෙතින් ඈත්වීමට උපකාරිවුවත්, එයින් පිහිටක් අපට නොලැබෙන බව තේරුම් නොගෙන අපිත් සාතාන්ගේ ඒ උගුලටම හසුවන්නේ, පිහිටවීමට සිටින එකම පිහිට වන දෙවියන්වහන්සේ සමග කෝපයෙන් ක්‍රියා කිරීමට පෙළඹීමයි.

නුමුත් ඒ තත්වය ඉදිරියේදී ඒ ගැන යෝබ් ගත් තීරණය වන්නේ එකේ අනෙක් පැත්ත බවත් යෝබ්ගේ ජිවිත කථාව එළිදරව් කර සිටියි.

අන්ධකාරය තුළ අප යන්නේ කොහේද කියා අපට නොපෙනෙන්නේ ආලෝකය අප අවට නොමැති නිසායි. යෝබ්ගේ පරික්ෂාවේදී ඔහුට සිදුවන්නේ මොකක්ද කියාවත්, හිටිහැටියේම ජිවිතයට මෙයාකාරයෙන් දුක් පිඩා පැමිණීමට හේතු වුයේ කුමක් නිසාද කියා ඒගැන වත් යෝබ් නොදැන සිටියත්; දෙවියන්වහන්සේ කෙරෙහි යෝබ් තුළ තිබු ඇදහිල්ල සහ විශ්වාසයට ඒවා කොහෙත්ම බාධාවක් නොවූ බවත් පැහැදිලිව පෙනෙන්නේ යෝබ්ගේ කථාවේ දහතුන් වැනි පරිච්චේදය කියවන විටයි.

"උන්වහන්සේ මා මරණවා ඇත, මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ගය හරි බව ඔප්පු දෙන්නෙමි" (13:15)

දෙවියන්වහන්සේ අත්හැරීම හෝ දෙවියන්වහන්සේට විරුද්ධව දොස් නැගීම හෝ ඔහු තුල දෙවියන්වහන්සේ කෙරෙහි තිබු විශ්වාසය සහ ඇදහිල්ල ගැන වෙනසක් හෝ සිදුවූ බවට ඉඟියක් වත් ඔහුගේ ජීවිත කථාව තුළින් මතු නොවෙන්නේ, දෙවියන්වහන්සේ හැර පිහිට වීමට වෙනත් කෙනෙක් මොළොව නොමැතිබව යෝබ් දැන සිටීමයි. ඒ නිසා මුහුණ දීමට සිදුවූ ඒ අවස්තාව හේතුවෙන් දෙවියන්ට අපහාස කිරීමට ඔහු ඔහුගේ භාර්යාව මෙන් නොපෙලඹෙයි.

එබැවින් පිහිටක් ලැබුනත් නොලැබුනත් යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් රැඳී සිටින්නේ මරණින් මතුවටත් මේ ජීවිතය අවසන් නොවෙන කාරණයත් දැනසිටීමයි.

යෝබ් තම අමාරුකම ඉදිරියේදී එසේ ක්‍රියා කළත්, බොහෝවිට එවැනි අමාරුකම් අපගේ ජීවිතයට හමා එන විටදී අපට හැඟෙන්නේ, අපි දැන් තැලී පොඩිවී ගොස් හමාරයි යන හැඟීමයි. ජීවිතය ගැන තව දුරටත් බලාපොරොත්තුවක් ගොඩනගා ගැනීමට නොහැකි බව සිතීමයි. . බොහෝවිට බොහෝදෙනා දෙවියන්වහන්සේ ගැන කෝපවී උන්වහන්සේ පවා අමතකර දැමීමටත් සමහර විට තීරණය කරන්නෙත් ඒ නිසායි.

නුමුත් යෝබ් මේ වේදනාව උදාහරණයකට ගනිමින් පවසන්නේ, "රත්ත්‍රන් වල පිරිසිඳු කම ලැබෙන්නේ එය ගින්නෙන් උණුකර පෙරා ගත් පසුව පමණක් බැවින්, ඔහු මුහුණ දෙන මේ අමාරුකම තුලදී පවා දෙවියන්වහන්සේ ඉදිරියේ කීකරුවූ මිනිසෙකු ලෙසින් අවසාණය තෙක්ම ජීවත්වී ඒ අවසානයේදී ඔහු දෙවියන් ඉදිරියේ පිරිසිඳු රත්තරං මෙන් එලියට එන ඒ අනාගත බලාපොරොත්තුව ගැනයි. එයින් ඔහු අදහස් කරන්නේ මරණින් මතුවට ඇති ජීවිතය ගැනයි.

යෝබ් කියා සිටින මේ ප්‍රකාශයේ සරළ අදහස වන්නේ, ඔහු මළත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔහු නිර්දෝෂ අයෙක් ලෙසින් ඒ මරණයටත් මුහුණ දෙන බවයි. ඔහු මුහුණ දෙන ඒ වේදනාව දෙවියන්වහන්සේට ශාප කිරීමට හේතුවක් කර නොගන්නා කාරණයයි. අවසාණය කුමක් වුවත් ජිවිතයේ අවසන් මොහොත දක්වාම විශ්වාස වන්තයෙක් ලෙසින් දෙවියන්වහන්සේ තුළ මිය යෑමට කළ තීරණයයි. දෙවියන්වහන්සේ කෙරෙහි තමා තුල තිබුන ඒ විශ්වාසවන්ත කමේ පිරිසිඳු කම දෙවියන්වහන්සේ දකින්නට යන බව පැවසීමයි.

ඔහු මුහුණ දෙන අභියෝගය ඔහුව මරා දැම්මත්, ඒ කාරණය ඔහු අදහන දෙවියන්ට ශාප කිරීමට හේතුවක් කර නොගන්නා බව යෝබ් එහි පවසයි. ඔහුගේ ස්ථිර ඇදහිල්ලේ පවිත්‍රකම රත්තරන් මෙන් පිරිසිඳු බව දෙවියන් ඉදිරියේ ප්‍රකාශ වීමට එය අවස්තාවක් කරගන්නා බව පමණක් ඔහු එහි කියා සිටියි.

"උන්වහන්සේ මා යන මාර්ගය දන්නා සේක, උන්වහන්සේ මා පරික්ෂා කළ කල්හි, මා රන්මෙන් නික්ම එන්නේය"

අපව දුකට පත් කිරීම උන්වහන්සේගේ අරමුණ නොවුවත්, ඇදහිලිවන්තයන් හැටියට අප තුල ඇති විශ්වාසය සහ ඇදහිල්ල උන්වහන්සේ හොඳින් හඳුනන බවත් ඒ කතාව අපට එළිදරව් කරයි. දෙවියන්වහන්සේ බොහෝවිට අපව ශක්තිමත් කරන්නේ ජිවිතයේ අපි මුහුණ දෙන අමාරුක කම් තුළදීයි.

මරණිය තර්ජනය තම ජිවිතයට එල්ලවීම නිසා මරණ භයෙන් ඉතාමත් පහත් තත්වයක සිටියේදී දාවිත් රජ තුමා පැවසු ගීතිකාවක ඔහු කියා සිටින්නේද; උන්වහන්සේ අපගේ යහපතේදී මෙන්ම අයහපතේදීත් අප සමග සිටින කාරණයයි.

"රාත්‍රියේ භිතියටවත්, දවාලේ විදින ඊ ගසටවත්, අඳුරේ යන වසන්ගතයටවත්, ඉර මුදුන්වෙලේ පාලුකරන විනාශයටවත්, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමින්වහන්සේ මා සමගය. " කියායි. -ගීතාවලිය 91

දාවිත් රජතුමා තම අත්දැකීම තුළින් පවසන මේ ගීතිකාවේ සටහන් වචන ගැන අප සැලකිලිමත් නොවන්නේ නම්, එහි ඇති ආත්මික රහසද අප මඟ හැර ගනියි. දාවිත් රජතුමා මෙහි පවසන්නේ උන්වහන්සේ සමහරවිට අපව රාත්‍රියේ භීතිය මැදින් යන්නට සලස්වන බවයි. දහවල් කාලයේ අපිව විනාශ කිරීමට සතුරා විසින් එවන ඊ ගස් මැදින් උන්වහන්සේ සමහරවිට අපව යන්නට සලස්වන බවයි.

ඒ නුමුත් උන්වහන්සේද අප සමගින් ඒවාට මහුණ දෙන බවත් ඔහු එහි පවසා සිටියි. එය පෙන්වාදෙන්නේ, දෙවියන්වහන්සේ අදහන ඇදහිලිඅන්තයා සමග දෙවියන්වහන්සේද අභියෝගවලට මුහුණදෙන සැබෑවයි.

දාවිත් රජතුමා මෙන් වේදනාවෙන් පිරුණූ අන්ධකාරයෙන් වැළලුනු අවස්ථාවලදී දෙවියන්වහන්සේගේ මුහුණ සොයමින් ගොස් උන්වහන්සේගේ සැළැස්ම අත්දැකීමට පැමිණීම අපව දෙවියන්වහන්සේ ව විශ්වාස කිරීමටත් එසේම ඇදහිල්ලෙන් උන්වහන්සේ තුළ මුල්බැස ගැනීමටත් උපකාරී වෙයි. බයිබලයේ සඳහන් 91 වැනි ගීතාවලිය පෙන්වාදෙන්නේ ඒ ගැනයි.

එබැවින් වර්තමානයේ ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලිවන්තයන් වන අපට යෝබ් සහ පාවුල් තුමා මෙන්ම දාවිත් රජතුමාද පවසා සිටින්නේ, අප මුහුණ දෙන අවස්තාව කුමක් වුවත් ඒ තුලදී දෙවියන්වහන්සේ කෙරෙහි ඇති බලාපොරොත්තුව අත්හැර නොගන්නා ලෙසයි.

ජීවිතයට හමා එන දුක් පිඩා වේදනාවන් ගැන කතා කිරීමේදී, යෝබ්ගේ ජිවිත කථාව මෙන්ම දාවිත් රජතුමාගේ ජිවිත කථාවේ අවසාණයත් සතුටින් පිරුණු එකක් වුවත්, ක්‍රිස්තියානි ඉතිහාසය දෙස බැලීමේදී බොහෝ ඇදහිලිවතයන්ට තම ජීවිතය පවා නැතිවුණ අවස්ථා ගැනත් සඳහන් වෙයි. ඒ නුමුත් ඒ ගැන පාවුල් තුමා පවසා සිටින්නේ, අපගේ බලාපොරොත්තුව නිෂ්ඵල නොවෙන බවයි. හේතුව මරණය තුලින් අප සම්බන්ධ වන්නේ ජීවමාන දෙවියන්වහන්සේ වෙතට වන බැවින් උන්වහන්සේ මුහුණට මුහුණ මුණගැසීමට යන ඒ බලාපොරොත්තුව ස්ථිර එකක් වන බවයි.

එහිදී යෝබ් පැවසුවාක් මෙන් අප එකිනෙකාගේ ආත්මික ජීවිතය, ඇදහිල්ල සහ විශ්වාසය දෙවියන්වහන්සේ ඉදිරියේ පිරිසිඳු රත්තරං මෙන් දිස්වෙන්නට යන බව මෙහිදී ඒ ගැන අප සියලු දෙනා තේරුම් ගතයුතු ආත්මික පාඩමයි.

"මා ඔබ ගැන කණින් අසා තිබුණේය; නුමුත් දැන් මාගේ ඇසින් ඔබව දකින්නෙමි." - යෝබ් 42:5

යෝබ්ට මෙන් අපටත් දිනෙක ඒ දවස උදාවනු නිසැකයි. එබැවින් ඒ දවස උදාවන තෙක් දෙවියන්වහන්සේ කරෙහි විශ්වාසය තබා ඇදහිල්ලෙන් සහ බලාපොරොත්තුව ඇතුව ජීවත්වීමට තීරණය කරමු.

STUDY OUT LINE

මෙම පාඩම් කණ්ඩායමක් ලෙසින් ඉගෙනගැනීමට කැමතිනම් පමණක් පහත සඳහන් පිළිවෙල අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිමු.

0.පාඩමක් තෝරා ගැනීමට පෙර පළමුවෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම වෙනුවෙන් යාඥා කරන්න.

1. තෝරාගත් පාඩම කීපවතාවක් කියවාගෙන හොඳින් අවබෝධකර ගන්න.

2. සඳහන් බයිබල් පදයන්ද කියවා ඒවා හොඳින් තේරුම්කර ගන්න.

3. අවශ්‍ය නම් පාඩම ඔබගේ යාඥා කණ්ඩායමට ගැලපෙන අයුරින් නැවත සකසා ගන්න.

4. යාඥා කරන්න. පාඩම ගැනත් පාඩම බෙදාගන්නා සියළුදෙනා ගැනත් කාළය අරගෙන අවංකව යාඥා කරන්න.

5.දෙවියන්වහන්සේගේ ආලේපය නොමැතිව අපි කුමක් කළත් එහි බලයක් නොමැති බව තේරුම් ගන්න. ශුධාත්මයාණන් වහන්සේගේ පිහිට පතා යාඥා කරන්න.

6.දෙවියන්වහන්සේ ඔබට මඟපෙන්වන අයුරින් වචනය බෙදා ගන්න.